සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන දේශයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී පැවති “කම්බන් උළෙල” ඇමතූ අවස්ථාවේදීය.

දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උළෙලක් වන මෙම උත්සවයට එක් වූ ජනාධිපතිවරයා සාම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මනුෂ්‍යත්වය පෙරටු කරගත් නව සමාජයක් ගොඩනැගීමේ ක්‍රියාවලියේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට ඉතා වැදගත් මෙන්ම පුළුල් වගකීමක් පැවරී ඇති බවයි.

මෙරට සියලු ජන කොටස්වලට සමානාත්මතාවයෙන් සහ එකමුතුවෙන් ජීවත් විය හැකි පසුබිමක් සකස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉටුකරන සුවිශේෂී මෙහෙවර ඇගයීම සඳහා මෙහිදී ඔහුට ‘කම්බන් සම්මානය’ පිරිනැමීම ද විශේෂත්වයකි.

ශ්‍රේෂ්ඨ දෙමළ කවි කම්බන්ගේ නාමයෙන් 1980 වසරේ යාපනයේදී ස්ථාපිත කළ සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය විසින් මෙම වාර්ෂික උළෙල සංවිධානය කරනු ලබයි. තරුණ පරම්පරාව සංස්කෘතික සාරධර්ම සහ දේශප්‍රේමය ඔස්සේ ධර්මිෂ්ඨ මාවතකට යොමු කිරීම මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණ වේ. වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව ශ්‍රී ලාංකික සමාජයේ උන්නතියට කැපවූ කීර්තිමත් පුද්ගලයින් ඇගයීමට ලක්කිරීමේ සම්ප්‍රදාය මත මෙවර ද මෙම උපහාර පිරිනැමීම් සිදු කෙරිණි.