රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව, එහි පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි ඇතුළු පිරිස පියවර ගෙන තිබේ. රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා විධිමත් කිරීමේ අරමුණින් මෙම තීරණ ගනු ලැබීය.

මෙම විශේෂ කළමනාකරණ කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆනි ප්‍රනාන්දු යන අයගේ ප්‍රධානත්වයෙන් රාගම රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද මීට සහභාගී වූහ.

මෙහිදී 2026 වර්ෂය සඳහා වන වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය මෙන්ම ඖෂධ සහ ශල්‍ය උපකරණ ප්‍රසම්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. එමෙන්ම 2027 වර්ෂය සඳහා සැලසුම් කර ඇති ව්‍යාපෘති සහ නව උපකරණ මිලදී ගැනීම් පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරිණි.

නියෝජ්‍ය ඇමැතිවරයා රෝහලේ රෝගී වාට්ටු, හදිසි ප්‍රතිකාර ඒකකය, වෛද්‍ය රසායනාගාරය සහ බාහිර රෝගී අංශය ඇතුළු අංශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. රෝහල් පාලනාධිකාරිය පෙන්වා දුන් ගැටලුවලට අනුව, ප්‍රධාන සැලැස්ම සංශෝධනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල නැවත සැලසුම් කිරීම, කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන් රථ උද්‍යානයක් ඉදිකිරීම සහ සීසීටීවී ජාලයක් සවි කිරීම වැනි කටයුතු කඩිනම් කිරීමට ද උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ජී.එම් ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, සාලින්ද බණ්ඩාර සහ රාගම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත තෙන්නකෝන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.