“ජන රජයට – ජන බලයක්” තේමාවෙන් නුවරඑළියේ පැවැති මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ රටේ ජනතාව අතර පවතින බැඳීම කිසිදු බලවේගයකට අස්ථාවර කළ නොහැකි බවයි.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩු මෙන් නොව තමන් පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දු ගන්නා බවයි. විශේෂයෙන්ම මලෛයගම් ජනතාව ඇතුළු රටේ සියලුම වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම තම රජයේ ප්‍රමුඛතාව බවත්, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස සහ වගාබිම් වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබාදුන් වැඩිම වන්දි ප්‍රමාණය ලබාදීමට රජය කටයුතු කළ බවත් ඔහු සිහිපත් කළේය.

එමෙන්ම 2026 වසර දූෂිතයන්, වංචනිකයන්, පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත වන වසරක් බවට පත්වන බවට ජනාධිපතිවරයා සහතික විය. “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ශක්තිමත් කර තිබෙනවා. හිටපු ඇමතිවරුන්ගේ නිවෙස් අද නඩු අහන අධිකරණ බවට පත්ව තිබෙනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බවත්, කඳුකරයේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට රජය විශාල මුදලක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. පවුල් පරම්පරාවලට නොව ජනතාවට වගකියන, ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ලෙස ඉදිරි වසර ගණනාව පුරා රට ගොඩනැගීමට කැපවන බවට ඔහු එහිදී ජනතාවට සහතික විය.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ විශාල ජනතාවක් එක්ව සිටියහ.