ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන කිහිපයක් ද කේබල් කාර් ව්‍යාපෘති සඳහා සුදුසු ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදු කිරීමටත්, ඊට අවශ්‍ය මූලික අවසර ලබා ගැනීම සහ ඉදිරිපත් කළ යුතු පාරිසරික වාර්තා පිළිබඳව සොයා බැලීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
මීට සමගාමීව, එළඹෙන මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත රටවල් 40ක් සඳහා නිදහස් වීසා (Free Visa) පහසුකම ලබා දීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කෙරිණි. එම පහසුකම හඳුන්වා දීම හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සංචාරකයින්ගේ සනීපාරක්ෂක පහසුකම් වර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී දැඩි අවධානයක් යොමු විය. යාල ඇතුළු ජාතික වනෝද්‍යාන 19ක සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ඉලක්කවල ප්‍රගතිය විමසා බැලුණු අතර, දැනටමත් එම ස්ථානවල වැසිකිළි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අනාවරණය විය. අලුතින් වැසිකිළි පද්ධති ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති අතර, සංචාරකයින්ට මූලික යටිතල පහසුකම් සැපයීමේදී මෙය අතිශය වැදගත් සාධකයක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මීට අමතරව, කොල්ලුපිටියේ සිට මුහුදුබඩ මාර්ගය ආශ්‍රිතව නව සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව ද සාකච්ඡා වී ඇත. මෙමගින් දෛනිකව සංචාරකයින් 2,000ත් 3,000ත් අතර පිරිසක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.