ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා නීතිමය යථාර්ථයන්ට පටහැනි බව පෙන්වා දිය හැකිය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග, මැති ඇමැතිවරුන්ගේ ප්‍රකාශ මෙන්ම ආණ්ඩුවේ වැඩපිළිවෙළ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් සිදුවන බවට නාමල් රාජපක්ෂ සහ විපක්ෂය චෝදනා කරයි. නීතිඥ සංගමය, පහළ අධිකරණවල විනිසුරුවරුන්, මහා සංඝරත්නය මෙන්ම කතෝලික සභාව ඇතුළු පාර්ශ්වයන්ද අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව කතා කරන්නේ මෙම බලපෑම් නිසා බව පෙන්වා දෙමින් විපක්ෂය මෙම මතය සමාජගත කිරීමට උත්සාහ දරයි.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ සහ නීති සම්පාදනය කිරීමේ පරමාධිපත්‍ය බලය ජනතාව වෙනුවෙන් හිමිවන්නේ පාර්ලිමේන්තුවට වන අතර, ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම අධිකරණයට බලපෑම් කිරීමක් නොව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකිරීමකි. එමෙන්ම, යම් ව්‍යවස්ථා සංශෝධනයකින් ජනතා පරමාධිපත්‍යයට හෝ අධිකරණයේ ස්වාධීනත්වයට බාධා වන්නේද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සතුවය. ඕනෑම පුරවැසියෙකුට හෝ විපක්ෂයට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට සම්පූර්ණ අයිතිය පවතින පසුබිමක, අධිකරණ ස්වාධීනත්වය නැතිවන බවට සිදුකරන පූර්ව නිගමන අර්ථ විරහිත වේ.

අනෙක් අතට, අධිකරණ පද්ධතියේ පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සහ විනිසුරුවරුන්ගේ පළපුරුද්ද යොදාගැනීම ජනතාවට නඩු වෙනුවෙන් වැයවන කාලය හා මුදල් අවම කරමින් අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ පියවරකි. එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ ආයු කාලය පුරාම විනිසුරුවරුන් සේවය කිරීමත්, ජර්මනිය හා එක්සත් රාජධානිය වැනි රටවල විශ්‍රාම වයස අවුරුදු 68-70 දක්වා පැවතීමත් වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව විනිසුරුවරුන්ගේ සේවා කාලය යාවත්කාලීන වීම ද සාමාන්‍ය තත්ත්වයකි.

තවද, යම් දේශපාලනඥයෙකු අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සඳහා අධිකරණයට අපහාස කිරීමේ නීතිය (Contempt of Court) යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය අධිකරණය සතුව සුරක්ෂිතව පවතිද්දී, නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂ පාර්ශ්වයන් මෙලෙස ගෙනයන්නේ දේශපාලන වාසි තකා සිදුකරන නොමඟ යවන සුළු ප්‍රකාශයක් බව පැහැදිලි වේ.

සටහන | සචිත් ලියනගේ