විනිසුරුවරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරෙන චෝදනාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බැවින්, එම අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන සිදුකරන දැඩි අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධය, කනස්සල්ල සහ අප්‍රසාදය පළ කරන බව නීතිඥ හේමක සේනානායක ප්‍රකාශ කරයි.

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ හේමක සේනානායක සඳහන් කළේ, අදාළ තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ලබාගැනීම සඳහා රටේ අගවිනිසුරුවරයා ඉලක්ක කරගනිමින් මඩ ප්‍රචාර සිදුකර ඇති බවයි. මෙවැනි ක්‍රියාවන්ට පුරුදු පුහුණු වීමක් සිදුවුවහොත් විපක්ෂ කණ්ඩායම් මඟින් මෙම ප්‍රවණතාව රටේ සමස්ත අධිකරණ පද්ධතියට සහ සියලුම විනිසුරුවරුන් වෙත විහිදී යා හැකි බවත්, එය දැඩි තර්ජනයක් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරියක ඇතුළු විවිධ පුද්ගලයින් දැඩි අපහාසාත්මක අදහස් ඉදිරිපත් කරන බව ජනාධිපති නීතිඥ මොහාන් ප්‍රකාශ කළ බව සඳහන් කළ ඔහු, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ පිළිබඳ තම දැඩි විරෝධය සහ අප්‍රසාදය පළකරන බවත් වැඩිදුරටත් පැවසීය.