ලංකාව තුළ යළිත් වරක් අන්තවාදී ගිනිදැල් අවුළුවා රට අස්ථාවර කිරීමේ අරමුණින් නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල සහ අර්චුනා රාමචන්ද්‍රන් යන කණ්ඩායම සැලසුම් සහගතව එකම දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව මේ වන විට තහවුරු වී තිබේ.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අර්චුනා රාමචන්ද්‍රන් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඉන්දියාවේ තමිල්නාඩුවට එකතු කළ යුතු බවට කළ රාජ්‍ය විරෝධී ප්‍රකාශය මෙකී කුමන්ත්‍රණයේ එක් බරපතළ පියවරකි. වඩාත් පිළිකුල් සහගත කරුණ වන්නේ, රටේ ඒකීයභාවය ගැන වේදිකාවල කෑගසන සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස, රට බෙදීමේ මෙම ප්‍රකාශය හමුවේ මුනිවත රකිමින් ඒ සඳහා සිය නිහඬ අනුමැතිය සහ ආශිර්වාදය ලබා දීමයි.

උතුරේ අන්තවාදය අර්චුනා රාමචන්ද්‍රන් ලවා මෙහෙයවන අතරතුර, එයට ප්‍රතිපක්ෂව දකුණේ ජාතිවාදී ගින්න ඇවිලවීමේ වගකීම නාමල්, සජිත් සහ ගම්මන්පිල ඇතුළු කල්ලිය භාරගෙන තිබේ. මොවුන්ගේ එකම අරමුණ වන්නේ වත්මන් ආණ්ඩුව විසින් සාර්ථකව ගොඩනගමින් පවතින ජාතික සමගිය සහ ‘ශ්‍රී ලාංකීය ජාතිය’ යන සංකල්පය විනාශ කර දැමීමයි. වත්මන් පාලනය යටතේ ජනතාව භුක්ති විඳින සාමය සහ සහජීවනය දරාගත නොහැකි වූ මෙම දේශපාලන බංකොලොත් පිරිස, දැන් විදේශීය බලපෑම් පවා ඈඳා ගනිමින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී රට පාවා දීමේ නිරතව සිටිති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍යයේ ඒකීයභාවය ආරක්ෂා කරන බවට දිවුරුම් දී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකු මෙලෙස බෙදුම්වාදය වැපිරීමත්, විපක්ෂයේ සෙසු කණ්ඩායම් එයට උල්පන්දම් දීමත් ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. මෙය හුදු ප්‍රකාශයකට එහා ගිය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සැලසුම් සහගත දේශපාලන කුමන්ත්‍රණයකි. ජාතික සමගිය අවුල් කර පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරන මෙම නින්දිත ප්‍රයත්නයන් පරාජය කිරීමට දේශප්‍රේමී ජනතාව සූදානම් විය යුතුය.

LankaTruth