මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කරමින්, අධිවේගී මාර්ග සහ දුරගමන් සේවා සඳහා නව සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කරන්නේ මෙයට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
මෙම බස් රථවලින් 170ක් අධිවේගී මාර්ගවල සේවා සඳහාත්, ඉතිරි බස් රථ 30 කොළඹ සිට දුර ගමනාන්ත සඳහාත් යෙදවීමට නියමිතය. උත්සව සහ නිවාඩු කාලවලදී පෞද්ගලික බස් රථවල අධික ගාස්තු සහ දුෂ්කරතා මැද ගමන් ගන්නා ජනතාවට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
කෙසේ වෙතත්, රජය ගනු ලබන මෙම ප්‍රගතිශීලී පියවරට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුළු පිරිසක් දැඩි විරෝධයක් එල්ල කරමින් සිටිති. රුපියල් බිලියන 7ක පිරිවැයකින් ක්‍රියාත්මක වන නව මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය මහජන මුදල් නාස්තියක් බව පවසන ගැමුණු විජේරත්න, මෙය “ජාතික අපරාධයක්” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරයි.
නමුත් විචාරකයෝ පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහනය බිඳවැටීමට ප්‍රධාන හේතුව ලංගමය බව පවසන බස් හිමියන්, සැබවින්ම බිය වී ඇත්තේ ලංගම සේවාවන් ශක්තිමත් වීම හරහා තමන් මෙතෙක් කල් ගෙන ගිය බස් ඒකාධිකාරය බිඳවැටෙනු ඇතැයි යන බියෙන් බවයි. ප්‍රමිතියෙන් තොර බස් රථ ධාවනය කරමින්, මගීන්ට අගෞරවනීය ලෙස සලකන පෞද්ගලික බස් මාෆියාව, රජය මගීන්ට පහසුකම් සලසන විට එය “නාස්තියක්” ලෙස හැඳින්වීම හාස්‍යයට කරුණකි. රජය සිදුකරන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් අකාර්යක්ෂම ලෙස වැය කිරීම නොව, දශක ගණනාවක සිට පෞද්ගලික බස් හිමියන් විසින් මගියා ප්‍රාණ ඇපයට ගෙන සිදුකළ ගසාකෑම අවසන් කිරීම බව පැහැදිලි වෙමින් පවතී.