ශ්‍රී ලංකා දුම්රිය සේවය නවීකරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ, සාම්ප්‍රදායික දුම්රිය ප්‍රවේශපත වෙනුවට ඩිජිටල් ප්‍රවේශපතක් හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබේ.
මෙම නියමු ව්‍යාපෘතිය බේස්ලයින්, කොටා රෝඩ්, කිරුළපන සහ නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන මූලික කර ගනිමින් ආරම්භ කර ඇත. ඒ අනුව, අදාළ දුම්රිය ස්ථානවල මෙතෙක් භාවිත කරන ලද රෝස පැහැති ප්‍රවේශපත් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට මගීන් වෙත නිකුත් කෙරෙන්නේ QR (කිව්. ආර්.) කේතය සහිත විශේෂ රිසිට්පතකි.
නව ක්‍රමවේදය යටතේ දුම්රිය ස්ථානවල ස්ථාපනය කර ඇති ස්කෑන් යන්ත්‍ර හරහා අදාළ QR කේතය ස්කෑන් කිරීමෙන් පසු මගීන්ට වේදිකාවට පිවිසීමට සහ සිය ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවස්ථාව සැලසේ. මගීන්ගේ ප්‍රවේශපත් පරීක්ෂා කිරීම සඳහා දුම්රිය ප්‍රවේශපත් පරීක්ෂකවරුන්ට ද අවශ්‍ය නවීන ස්කෑන් උපකරණ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කැලණිවැලි මාර්ගයේ මෙම ස්ථාන හතරෙන් ඇරඹි නියමු ව්‍යාපෘතිය මගින් මතුවන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙමින්, ඉදිරියේදී මෙම පද්ධතිය කැලණිවැලි මාර්ගයේ අනෙකුත් සියලුම දුම්රිය ස්ථාන කරා ද ඉන් අනතුරුව දිවයිනේ සෙසු දුම්රිය මාර්ග කරා ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව මීට කලකට පෙර සිටම ආසන වෙන්කරවා ගැනීමේ මාර්ගගත (Online) පහසුකම හඳුන්වා දී තිබූ අතර, මෙම නව ඩිජිටල් ටිකට්පත් ක්‍රමය හරහා සාමාන්‍ය දුම්රිය ගමන් වාර ද වඩාත් විධිමත් සහ කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.