මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී (Hacking) රජයේ භාණ්ඩාගාරයෙන් සොරා ගන්නා ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලින් කොටසක්, ඇමරිකාවේ ඩෙලවෙයාර් (Delaware) ප්‍රාන්තයේ TD Bank ශාඛාවක පවත්වාගෙන ගිය ගිණුමකට බැර වී ඇති බව හෙළි වී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා වන්නේ, අදාළ ගිණුම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ලියාපදිංචි ‘ඔන්ලයින්’ ව්‍යාපාරික ආයතනයක නමින් පවත්වාගෙන ගොස් ඇති බවයි.
මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU), අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය එක්ව ඒකාබද්ධ විමර්ශනයක් දියත් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ද්විපාර්ශ්වික ණය වාරිකයක් මෙලෙස වංචාකරුවන්ගේ ගිණුම් කිහිපයකට බැර වී ඇති බවයි. මුදල් අමාත්‍යාංශයේ නිල විද්‍යුත් තැපැල් (Email) පද්ධතිය හැක් කිරීම මගින් මෙම කොල්ලය සිදු කර ඇත.
පසුගිය අප්‍රේල් 30 වැනිදා හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) මේ පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර භාණ්ඩාගාරයේ ණය පියවීමේ පද්ධතියේ පවතින බරපතළ දුර්වලතා එහිදී හෙළි විය. විශේෂයෙන්ම, කිසිදු භෞතික ලේඛනයක් හෝ අත්සනක් රහිතව සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට ණය පියවීම් සිදු වීම මෙවැනි වංචාවන්ට ඉඩකඩ සලසා දී ඇති බව පෙනී ගොස් ඇත. රජයේ ඒකාබද්ධ අරමුදලින් විදේශ ණය පියවීම් සඳහා අවසර දීමේ පූර්ණ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) එක් අධ්‍යක්ෂවරයෙකු සතුව පැවතීම ද දැඩි අවදානම් සහගත තත්ත්වයක් ලෙස හඳුනාගෙන තිබේ.
මීට පෙර 2026 ජනවාරි මාසයේදී ඉන්දියාවට අදාළ ණය පියවීමකදී ද මෙවැනිම සැකකටයුතු සයිබර් ක්‍රියාකාරකම් වාර්තා වී තිබූ අතර, එහිදී ගනුදෙනු දෙකක් නැවැත්වීමට මහ බැංකු නිලධාරීන් සමත් විය. මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනටමත් පුළුල් විමර්ශන සිදු කරන අතර, අහිමි වූ මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර විමර්ශන ආයතන සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් පවතී.
(Source – SundayTimes)