වත්මන් ආණ්ඩුව බලයට පත්ව නීතිය ක්‍රියාවට නැංවීමෙන් පසුව, 2024 වසරේ සිට මේ දක්වා අල්ලස් ගත් පුද්ගලයන් 226 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 55 දෙනෙකුම දේශපාලනඥයන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසීය.
දූෂණ විරෝධී පනත පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2023 වසරේදී සම්මත කළ පනතට අනුව නඩු පැවරුවේ තමන් යැයි විපක්ෂය ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකාව 2004 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් තැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ තම පක්ෂය ද සහයෝගය ලබා දෙමින් සිටියදී බවයි. වත්මන් රජය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අල්ලස් කොමිසම මඟින් පවරන ලද නඩුවලින් හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16ක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 3ක්, හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු, අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන් 4ක්, දරුවන් 7ක් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් 6ක් වරදකරුවන් වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. අමාත්‍යවරුන්ගේ හොරකම් සඳහා බිරින්දෑවරුන්, දරුවන් මෙන්ම රියැදුරන් ද හවුල් කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
2023 වසරේදී විජේදාස රාජපක්ෂට අවශ්‍ය පරිදි කොමිසමක් පත්කර ගනිමින් මෙම පනත හදිසියේ සම්මත කරගත් බවත්, නීතියක් පැවතිය ද ක්‍රියාත්මක වීමට බලයක් නොතිබූ මෙම පනතට බලය ලබාදී කොමිසම ස්වාධීන කළේ වත්මන් රජය බවත් සුනිල් වටගල සඳහන් කළේය. ඒ ඔස්සේ අද වන විට අධිකරණය සහ අල්ලස් කොමිසම සෘජුව ක්‍රියාත්මක වෙමින් මෙරට අපරාධ නීතිය ශක්තිමත් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.