දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්‍රමුඛ වගකීමක් බවත්, එම වගකීම රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට සමාජගත වූ වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් මෙන්ම අනාරක්ෂිත සහ අධිඅවදානම් සහිත තත්ත්වයේ පසුවන බවට හඳුනාගත් දරුවන් වෙනුවෙන් සුරක්ෂිත නිවාස ඉදිකිරීම සඳහා මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන දෙකක මූල්‍ය ආධාරයක් පිරිනැමේ. මෙහිදී බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් වෙත අදාළ මූල්‍ය ආධාර නිල වශයෙන් පිරිනැමීම සිදු විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය වසරේ මෙම නිවාස සඳහා රුපියල් මිලියනයක මුදලක් ලබා දුන් බවත්, මෙවර එය රුපියල් මිලියන දෙක දක්වා වැඩි කළ බවත්ය. එම මුදල ද ප්‍රමාණවත් නොවන්නේ නම් තවදුරටත් ප්‍රතිපාදන වෙන් කිරීමට රජය සූදානම් බව ද ඔහු පැවසීය. ඊට අමතරව, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සිටින දරුවන් සමාජගත වන විට ඔවුන්ට යම් මූල්‍ය වත්කමක් ගොඩනැගීමේ අරමුණින් සෑම දරුවෙකුටම බැංකු ගිණුමක් විවෘත කර මාසිකව රුපියල් 5,000 බැගින් තැන්පත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 1956 වසරේ සිට ළමා ශ්‍රමය තහනම් වී 1998 දී සම්පූර්ණ වුව ද, දරුවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවමත් අනාරක්ෂිත වන බැවින් ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම මුළු සමාජයේම වගකීමක් බව ද ඔහු සිහිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කළේ, භෞතික සංවර්ධනයට සමගාමීව සමාජ සංවර්ධනයක් ඇති කරමින් බහුමාන දරිද්‍රතා ඉලක්ක ජයගැනීමට තම අමාත්‍යාංශය ක්‍රියා කරන බවයි. දිවයින පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක දරුවන් 8,000කට වැඩි පිරිසක් වින්දිතයන්, වරදකරුවන් මෙන්ම අනාථ හා අත්හළ දරුවන් ලෙස ජීවත් වන බව පැවසූ අමාත්‍යවරිය, 2027 වසරේදී මෙම දරුවන් වෙන්කොට උපදේශන මාර්ගෝපදේශ සහිතව වඩාත් සුරක්ෂිතව අධ්‍යාපනිකව සංවර්ධනය කර සමාජගත කිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ද සඳහන් කළාය. එමෙන්ම බන්ධනාගාරගතව සිටින අයගෙන් සහ පරිවාස භාරයේ පසුවන දරුවන්ගෙන් වැඩිම පිරිස පිරිමි පාර්ශ්වය බව අනාවරණය වී ඇති බැවින් ඔවුන් සෞන්දර්යාත්මක හා යහපත් පුරවැසියන් ලෙස ගොඩනැගීමට විශේෂ අවධානයක් යොමු කරන බව ද ඇය පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් යූ. එල්. මතීෂා ජිනන්ජලී ජයතිලක, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.