ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන අතර, එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
එමෙන්ම, රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) ඇතුළු නියෝජිත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ හත්වන සමාලෝචනයට සහ 2026 IV වගන්තිය යටතේ වන උපදේශනය සඳහා මෙරටට පැමිණ සිටින මෙම නියෝජිත පිරිස සැප්තැම්බර් 10 සිට 23 දක්වා කොළඹ රැඳී සිටීමට නියමිතය.
ශ්‍රී ලංකාව මේ වන විට අත්පත් කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී එවන් පැපජෝර්ජියෝගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ මූල්‍ය විනය පවත්වා ගැනීම සඳහා පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග ද පැසසුමට ලක්විය. උදා කරගත් මෙම ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, මෙරට ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීමේදී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක වැඩසටහන වැදගත් පදනමක් සැපයූ බව ප්‍රකාශ කළේය. මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ‘දිට්වා’ ආපදා තත්ත්වයට මෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ආර්ථිකයට එල්ල වූ බලපෑම්වලට ශක්තිමත්ව මුහුණ දීමට මෙම ආර්ථික ස්ථාවරත්වය ඉවහල් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙම වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 4.2%ක මට්ටමක පවත්වා ගැනීමට හැකිවීම ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ වැදගත් සංඥාවක් බවත්, පසුගිය වසර දෙක තුළ රජය බදු ආදායම් රැස් කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිඵලයක් වන සමාජ සුබසාධන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම මැදපෙරදිග තත්ත්වය හමුවේ බලශක්ති පිරිවැය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන අසීරුතා පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු එක්ව සිටියහ.