පසුගිය වසර පහක පමණ කාලයක් පුරා විපක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙවර එම අවස්ථාව නොලැබීමත් සමඟ, විපක්ෂයේ ප්‍රවේශයේ සුවිශේෂී වෙනසක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

මෙවර විවාදයේ දී දක්නට ලැබුණු එම වෙනස පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ සජබේ න්‍යායේ වෙනසක් සිදුව ඇත්දැයි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ කතාවෙන් බලාගත හැකි වනු ඇති බවයි.

“මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් වෙනකොට විපක්ෂයේ ප්‍රවේශයේ අපි සුවිශේෂී වෙනසක් දකිනවා. මට මතක විදිහට මම 2020 පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ සිටම පළමු කතාව කළේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා. අද වෙනසක් දකිනවා. ඒ වගේම හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාව අහන්නත් අපි ආසාවෙන් ඉන්නවා. එතකොට සජබේ න්‍යායේ වෙනසක් තියෙනවාද, නැත්නම් එකම ප්‍රතිපත්තිය තුළද ඉන්නේ කියලා බලාගන්න පුළුවන් වෙනවා” යැයි අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැඩසටහනක් සමඟ එක්වෙමින් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ, මෙවර අයවැය විවාදයේ විපක්ෂය පාර්ශ්වයෙන් පළමු කතාව සිදු කිරීමට තමා සාමාන්‍යයෙන් බලාපොරොත්තුවෙන් සිටි නමුත්, ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කළ බැවින් විපක්ෂ නායකවරයා පිළිතුරු කතාව සිදු කිරීම සුදුසු බවට නායකතුමා සහ පක්ෂය ගත් සාමූහික තීරණයක් මත එම අවස්ථාව වෙනස් වූ බවයි.

කෙසේ වෙතත් එහි කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ ඔහු, තම කතාව දින තුනක් ප්‍රමාද වීම නිසා සති අන්තයේ දී ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණු බව ද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සිහිපත් කරමින් සඳහන් කළේය.

මේ අතර, මීට පෙර වසර දෙකේ දීම අයවැය කතා ඉදිරිපත් කළේ ද ජනාධිපතිවරයාම වුවත් එම අවස්ථාවල දී විපක්ෂයෙන් විවාදය ආරම්භ කළේ ඔහු නොවේදැයි වැඩසටහන් නිවේදකයා එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ පක්ෂයක් ලෙස කාලීනව එවැනි සාමූහික තීරණ ගැනීමට සිදුවන බවත්, විපක්ෂයේ පොදු මතය රැගෙන විවාදය ආරම්භ කිරීම සෑම විටම තමා විසින්ම සිදු කළ යුතු නොවන බවත්ය.

සටහන | Sachith Liyanage