රාජගිරිය රිය අනතුර සිදු කළේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශ කළ ද, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ උපදෙස් මත පැමිණිලි පොතේ ඔහුගේ නම වෙනුවට රියැදුරාගේ නම සටහන් කළ බව වැලිකඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් සුරේශ් කුමාර කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (10) සාක්ෂි දෙමින් පැවසීය.
රාජගිරිය රිය අනතුර සම්බන්ධ නඩු විභාගයේ පැමිණිල්ලේ 7 වැනි සාක්ෂිකරු වන කොස්තාපල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, රිය අනතුර පොලිස් පොතේ සටහන් කිරීමේදී හිටපු ඇමැතිවරයාගේ නම ඇතුළත් නොකරන ලෙස ලැබුණු නියෝග මත මෙම පියවර ගත් බවයි.
කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්රමගේ මෙහෙයවීම යටතේ පොලිස් කොස්තාපල් සුරේශ් කුමාර (13281) දිවුරුම් පිට මෙම සාක්ෂිය ලබා දුන්නේය.
2016 පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ජනාධිපති විදුහල ආසන්නයේදී WP KT-7545 දරන සුඛෝපභෝගී ජීප් රථය පදවා සන්දීප් සම්පත් නමැති තරුණයා අනතුරට ලක් කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු වසන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ඇමැතිවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. අනතුර සිදුවූ සමයේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ එවකට අමාත්‍යාංශ රියැදුරු ලෙස සේවය කළ දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිව ඊට අනුබල දීම සහ කූඨ ලේඛන සකස් කිරීම ඇතුළු චෝදනා එල්ල වී තිබේ.
2016 පෙබරවාරි 28 වනදා රාත්‍රී 7.00 සිට තමා වැලිකඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටියදී අනතුර පිළිබඳ තොරතුරු ලැබී එම ස්ථානයට ගිය බවත්, පසුව වැලිකඩ පොලිසියෙන් ලද දැනුම්දීමකට අනුව බොරැල්ල පොලිසියට ගොස් අනතුර සිදු කළ බව කියන රථය සහ එය රැගෙන ආ රියැදුරු සිය භාරයට ගෙන වැලිකඩ පොලිසියට පැමිණි බවත් සාක්ෂිකරු පැවසීය.
එම අවස්ථාවේදී සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන සිද්ධික් මොහොමඩ් සුෆායිස් සහ කැකුලන්දර මුදියන්සේලාගේ ගයාශාන් විනුර යන අය වැලිකඩ පොලිසියට පැමිණ අනතුර සිදු කළේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බව ප්‍රකාශ කළ බව කොස්තාපල්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ පොලිස් කොස්තාපල් ලක්මාල් (89457) විසින් රියැදුරාගේ නම සටහන් කරගන්නා ලෙස තමාට දැනුම් දුන් බවත්, තමා ඊට විරුද්ධ වූ අවස්ථාවේ ඔහු කිහිපවරක්ම බලපෑම් කළ බවත් සාක්ෂිකරු හෙළි කළේය. තමා ආධුනික පොලිස් නිලධාරියෙකු වූ බැවින් එම උපදෙස් අනුව හිටපු ඇමැතිවරයා වෙනුවට රියැදුරාගේ නම යොදා පැමිණිල්ල සටහන් කළ බවත්, ලියාගත් සටහන් කියවීමට නොදී සාක්ෂිකරුවන්ගෙන් අත්සන් ලබාගත් බවත් හෙතෙම කියා සිටියේය.
සාක්ෂි විමසීමෙන් පසු විත්තියේ හරස් ප්‍රශ්න විමසීම සඳහා අවස්ථාව හිමි වූ අතර, ලඝු ලේඛිකාවගේ සටහන් ලබාගැනීම ඇතුළු කරුණු මත හරස් ප්‍රශ්න විමසීමට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට පැමිණිලි පාර්ශ්වය ද එකඟතාව පළ කළේය. ඒ අනුව නඩුවේ හරස් ප්‍රශ්න විමසීම දෙසැම්බර් 8 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය. විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නිහාල් ජයමාන්න, අනිල් ද සිල්වා සහ මෛත්‍රී ගුණරත්න පෙනී සිටියහ.