මෙට්‍රෝ බස් ආයතනයටත් වඩා විශිෂ්ට අන්දමින් ලංකා ගමනාගමන මණ්ඩලය ගොඩනැගීමට පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කරයි.

අද (17) පැවති සමුළුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පොදු ප්‍රවාහනයේ ජීවනාලිය බඳු වූ ලංගමයේ සමස්ත මුහුණුවර ලබන වසර අවසන් වන විට සම්පූර්ණ පරිවර්තනයකට ලක්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ ආයතනයක් ඇත්නම් ඊට හොඳම උදාහරණය ලංගමය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, නව රජයක් පත්වූ සෑම අවස්ථාවකදීම ලංගමය නමැති රූස්ස ගසේ අතු කපා දැමීම නිසා අවසානයේ ඉතිරි වූයේ එහි මුල පමණක් බව ද පැවසීය.

එසේ වුවද, ලංගම ආයතනය තුළම ‘මෙට්‍රෝ’ නමැති නව ආයතනයක් ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා අලුතින් බස් රථ ගෙන්වීම, නව ඩිපෝ ස්ථාපිත කිරීම මෙන්ම සේවක වැටුප් ඉහළ නැංවීම ද සිදු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පොදු ප්‍රවාහන සේවාව නංවාලීම සඳහා ලංගමයේ මානව සම්පත වැඩි කළ යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් කඩිනමින් නව බඳවා ගැනීම් ආරම්භ කරන බව ප්‍රකාශ කළේය. ඒ අනුව රියදුරන් 1,027ක්, කොන්දොස්තරවරුන් 200කට අධික සංඛ්‍යාවක් සහ කාර්මිකයන් 400ක් පමණ අලුතින් සේවයට බඳවා ගැනීමට නියමිතය.

මීට අමතරව භෞතික සම්පත් පුළුල් කිරීමේ අරමුණින් දැනටමත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරමින් පවතින බවත්, ලබන වසර වන විට සුඛෝපභෝගී බස් රථ 800ක් අලුතින් ලංගම රථ ඇණියට එක් කිරීමට පියවර ගන්නා බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කළේය.