නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් අද (11) වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව පොලිසිය විසින් පුද්ගලයින් 14 දෙනෙකු අධිකරණය හමුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති අතර, බලංගොඩ කස්සප හිමියන් එහි දෙවන සැකකරු ලෙස නම් කර තිබේ. නඩුව අද කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

මෙහි නම් කර ඇති සැකකරුවන් 09 දෙනෙකුට හෙට (12) ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානයට ගොස් ප්‍රකාශ ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, වැඩිදුර නඩු විභාගය ලබන ජනවාරි 06 වන දින යළි කැඳවීමට නියමිතයි.

මේ අතර, මෙම වරෙන්තුව නිකුත් වීමත් සමඟ උන්වහන්සේ අනුරාධපුරයේ සිදු කරන උපවාසය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ උපහාසාත්මක සටහන් සංසරණය වීමට පටන් ගෙන තිබේ.

විශේෂයෙන්ම උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටින ආකාරය උපහාසයට ලක් කරමින් පළවන එවැනි සටහන්වල මෙසේ සඳහන් වේ:

“ස්වාමීනී, මොහු මේ දිනවල අනුරාධපුරේ මාරාන්තික උපවාසයක නිරත වෙලා ඉන්නේ. මේ අධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළොත් නියත වශයෙන්ම එම මාරාන්තික උපවාසය කඩාකප්පල් වෙනවා. ස්වාමීනී, මුලු මහත් ජාතියේම ප්‍රාර්ථනය එකී උපවාසය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා දකින්න. ඉතිං මොහු බන්ධනාගාර අඩස්සියට යැවීම නිසා ඒක අසාර්ථක වුණොත් මහජනතාව කලබලයට පත් වෙන්න පුළුවන්. එහෙයින්, පොදු ජනතාවගේ යහපත පිළිගෙන මෙම කරුණ සුවිශේෂී හේතුවක් සේ සලකා කස්සපට ඇප ලබා දෙන්න…”