කොකේන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට රුපියල් 5,000ක දඩයක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (17) නියෝග කළාය.

විශ්ව කොඩිකාර අදාළ වරද අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කෙරුණු අතර, නැවතත් මෙවැනි වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වුවහොත් පුනරුත්ථාපනයට යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය ඔහු ඇතුළු සැකකරුවන්ට තරයේ අවවාද කර තිබේ.

ඊයේ (16) රාත්‍රියේ වැල්ලවත්ත පොලිසිය වෙත ලද තොරතුරකට අනුව වෙරළ ආශ්‍රිත ප්‍රසිද්ධ අවන්හලක සිදුකළ හදිසි වැටලීමකදී විශ්ව කොඩිකාර ඇතුළු පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,050ක් තිබී සොයාගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.

විශ්ව කොඩිකාර පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘සර්වජන බලය’ පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් (මනාප අංක 4 යටතේ) තරඟ වැදුණු අපේක්ෂකයෙකි. මැතිවරණ වේදිකාවල පෙනී සිටිමින් රට හදන සහ සදාචාරය සුරකින දේශපාලනයක් ගැන පුරසාරම් දෙඩූ ‘සර්වජන බලය’ පක්ෂයේ ප්‍රමුඛ පෙළේ අපේක්ෂකයෙකු මෙලෙස බරපතළ මත්ද්‍රව්‍ය චෝදනාවකට හසුව වරද පිළිගැනීමත් සමඟ, එම පක්ෂය ගෙනගිය සදාචාරාත්මක දේශපාලන කතිකාවේ සැබෑ නිරුවත සහ කුහකත්වය මේ වන විට ප්‍රසිද්ධියේ හෙළිදරව් වී තිබේ.