2015 මැද භාගයේදී අක්‍රමිකව සිදුවූ වෙළෙඳ කුටි බෙදා දීම් හේතුවෙන් වැසී ගිය මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ අලුයම සිට නැවත ජනතා අයිතියට පත් කෙරිණි.
වසර දහයකට පසු විවෘත වූ මෙම ආර්ථික මධ්‍යස්ථානය මැදවච්චිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ගණනාවක ලක්ෂ දෙකට ආසන්න ජනතාවකට මෙන්ම ගොවීන්ට ප්‍රතිලාභ හිමිවිය හැකි ප්‍රධාන ස්ථානයක් ලෙස හඳුනාගෙන දිවංගත බර්ටි ප්‍රේමලාල්ගේ සංකල්පයක් මත උතුරුමැද පළාත් සභාව මැදිහත්ව ඉදිකළ ආර්ථික මධ්‍යස්ථානයකි. මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතිය යටතට වත්මන් ආණ්ඩුවේ සහය ඇතිව මෙම මධ්‍යස්ථානය ගෙන සමූපකාර සමිතියේ සාමාන්‍ය අධිකාරි කමල් ප්‍රියංක ඒකනායකගේ මෙහෙයවීමෙන් විධිමත් ලෙස සකසා මැදවච්චිය විවිධ සේවා සමූපකාර සමිතිය විසින් මෙය නැවත ආරම්භ කර ඇත.
පනස් හය දහසකට ආසන්න මැදවච්චිය ජනතාවටත්, කැබිතිගොල්ලෑව, පදවිය, රැඹෑව, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, සෙට්ටිකුලම, මන්නාරම යන ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාවට මෙන්ම ගොවීන්ට මෙම ආර්ථික මධ්‍යස්ථානයත් සමඟ ගනුදෙනු කිරීමේ පහසුකම් ඒ අනුව නැවත හිමිව තිබේ. මෙහි එළවළු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුවනු ඇත. මීට අමතරව රජරට ජනතාව වගා කටයුතු සිදුකරන බෝග මධ්‍යම කඳුකරයටත්, මධ්‍යම කඳුකරයේ වගා කරන භෝග රජරටට ගෙනවිත් ජනතාව අතර බෙදා හැරීම මේ තුළින් සිදුවන අතර එය ජාතික ආර්ථිකයටද විශාල දායකත්වයකි.