කොළඹ පිහිටි ඇමති බංගලා නවයක් තානාපති කාර්යාල සඳහා වෙන් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කර තිබේ. තානාපති කාර්යාල නවයක් කලක සිට මෙම ඇමති බංගලා ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබූ බවද අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව වෙළඳ ක්‍රියාකාරකම් සඳහා තවත් ඇමති බංගලා හයක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත්, අධිකරණ පිහිටුවීමේ අවශ්‍යතා මත තවත් ඇමති බංගලා වෙන්කර දීමේ හැකියාව පවතින බවත් සඳහන් වේ.

ඇමැති බංගලා කිසිවක් අමාත්‍යවරුන්ගේ පාවිච්චිය සඳහා නොගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින්, එමඟින් ආදායමක් උපයා ගැනීම මෙන්ම ආර්ථික වශයෙන් ඵලදායි ව්‍යාපෘති සඳහා යෙදවීම රජයේ ප්‍රධාන අරමුණ බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළ යටතේ පසුගියදා ඇමති බංගලා තුනක විශේෂ අධිකරණ පිහිටුවනු ලැබූ අතර, තවත් ඇමති බංගලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරිහරණය සඳහා ලබාදී ඇත.