වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය අධිකරණය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නිකවැරටිය උතුරු කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයෙකු මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළ සුවහස් නිසල නමැත්තෙකි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දැරියගේ මව්පියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය ඥාති නිවසක රැඳී සිටින අවස්ථාවේදී, සැකකරු විසින් ඇයට ආරක්ෂිත ස්ථානයක් ලබාදෙන බව පවසා තම නිවසට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් නිකවැරටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය. අනතුරුව දැරිය රෝහල්ගත කිරීමට පියවර ගත් අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණවලදී ඇය විසින් මේ පිළිබඳ තොරතුරු හෙළි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.