විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත් පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට විපක්ෂය රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇති බවටත්, ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම කෙටුම්පත්වලට අකමැත්තක් දක්වන බවටත් පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව අනාවරණය වේ.

මෙම කෙටුම්පත් සම්මත කරගැනීමට රජයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ අමනාපයක් නොමැති අතර, ආණ්ඩුවේ සියලුම මන්ත්‍රීවරුන් ඊට පූර්ණ සහාය දක්වන බව රජයේ ප්‍රකාශකයෙකු නිල වශයෙන් තහවුරු කර තිබේ. පෙර පැවති රජයන්හි මෙන් කිසිදු දැක්මක් හෝ මතවාදයක් (ideology) නොමැතිව, මුදලට පමණක් තම ආත්මය පාවාදෙන මන්ත්‍රීවරුන් මුදලට ගෙන මෙවර ඡන්දය ලබාගැනීමට නොහැකි බව මෙම විපක්ෂ කල්ලිය හොඳින්ම දන්නා බැවින්, මෙවැනි අතේ පැළවෙන සමාජ මාධ්‍ය මෙහෙයුම් කරමින් ස්වයං වින්දනයක් ලැබීම ඉතාම ඛේදනීය තත්ත්වයක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඒ අනුව විපක්ෂය විසින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට කණ්ඩායමක් පත් කර ඇති බවටත්, රහසිගත සාකච්ඡා පවත්වන බවටත් පළ වන වාර්තා දේශපාලන වාසි තකා පතුරුවන ව්‍යාජ කටකතා පමණක් බව පැහැදිලි වේ.

මේ අතර, මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඔක්තෝබර් මස මුලදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සම් ගොනු කිරීම සඳහා සති දෙකක කාලයක් හිමිවන අතර, මේ වන විටත් ඊට එරෙහිව පෙත්සම් 40කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ද මෙම කාලසීමාව තුළ පෙත්සම් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා පෙත්සම් කොතරම් ප්‍රමාණයක් ඉදිරිපත් වුවත්, එම පෙත්සම්වල අන්තර්ගතය 95%ක්ම එක හා සමාන බව නිරීක්ෂණය වේ.

එසේම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථා සංශෝධනයක් වැනි වැදගත් පනත් කෙටුම්පතකදී රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැත. මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ නම වශයෙන් හෝ සභානුමත විවෘත ක්‍රමවේද හරහා බැවින්, විපක්ෂය පතුරවන මෙවැනි අසත්‍ය කටකතා මඟින් පාර්ලිමේන්තු ක්‍රියාවලියට කිසිදු බලපෑමක් කළ නොහැක.

සටහන | සචිත් ලියනගේ