එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී වර්තමාන එල්-නිනෝ තත්ත්වය හමුවේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය. පසුගිය යල කන්නයේදී පූර්ව සූදානම නිසා වගා හානි අවම කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්ට අනුව ලබන වසරේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් ඇතිවිය හැකි බැවින්, එමගින් කෘෂිකර්මාන්තයට, විදුලිබල සැපයුමට සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය. එවැනි ආපදා තත්ත්වයකදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමටත්, පීඩාවට පත්වන ජනතාවගේ ආර්ථිකය රැකබලා ගැනීමටත් ආපදා කළමනාකරණ අංශ සමඟ එක්ව සැලසුම් සකස් කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය.

වියළි කාලගුණයෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රදේශ කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජල කප්පාදුවක් කිරීමට සිදු වුවහොත් ජලාශ හිඳෙන තෙක් නොසිට ජනතාව සමඟ සාකච්ඡා කර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දන්වා සිටියේය. එමෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි ජල මූලාශ්‍ර පිරිසිදු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවසර දීම සහ වාරි පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි ද සාකච්ඡා විය.

එළැඹෙන ඔක්තෝබර් වර්ෂාවත් සමඟ ජලාශවලින් ජලය නිකුත් කරන තෙක් නොසිට, වර්ෂා ජලය උපයෝගී කරගෙන බිම් සකස් කිරීම ආරම්භ කරන ලෙසත්, මහ කන්නයට අවශ්‍ය බිත්තර වී සහ පොහොර සැපයීම සහතික කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. මීට අමතරව ලබන වසරේ මුල් භාගයේදී ඇතිවිය හැකි විදුලිබල අවදානමට මුහුණ දීම සඳහා අවශ්‍ය අතිරික්ත විදුලි ධාරිතාවක් සැලසුම් සහගතව පවත්වා ගැනීමට ද තීරණය කෙරිණි.