විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය (Assistive Technology) පුළුල් ලෙස භාවිතයට අදාළ උපායමාර්ගික සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, නිසි සැලසුමකින් තොරව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් රජය සිදු කරන ආයෝජන සහ උපකරණ අපතේ යා හැකි බැවින්, වැඩසටහනේ නියමු අදියර ඉතා සවිස්තරාත්මකව සැලසුම් කළ යුතු බවයි. ඒ අනුව ආරම්භයේදී සීමිත පාසල් සහ උපකරණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය නියමු මට්ටමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙම නියමු ව්‍යාපෘතිය මගින් ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් සහ මතුවන ගැටලු අධ්‍යයනය කරමින්, ඉදිරියේදී අවශ්‍ය සංශෝධන සිදු කිරීමටත්, පසුව එය දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රමානුකූලව ව්‍යාප්ත කිරීමටත් මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

දැනට ක්‍රියාත්මක වන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ මෙම වැඩසටහන ඒකාබද්ධ කෙරෙන අතර, එහි පළමු අදියරේදී 1, 2 සහ 6 ශ්‍රේණි සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. විශේෂයෙන්ම ආබාධ සහිත දරුවන් සඳහා මූලික පහසුකම් පවතින හෝ සංවර්ධනය සඳහා දැනටමත් තෝරාගෙන ඇති පාසල් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.

මීට අමතරව, සිසුන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීමේ ක්‍රමවේද ස්ථාපිත කිරීම, අධ්‍යාපනඥයන් සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීම සහ ප්‍රවේශ පහසුකම් පිළිබඳ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම මගින් මෙම වැඩසටහන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.