මෙම වසර (2026) අවසානය වන විට මෙරට ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට සහ එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම ‘govPay’ මඟින් පමණක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යාංශ නිලධාරීන් මෙම කරුණු අනාවරණය කර තිබේ.
රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි වන පරිදි, රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා වෙනුවෙන් තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා ඉහළ නංවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබෙන ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT), දත්ත ආරක්ෂණ අධිකාරිය, GovTec ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය සහ කොළඹ නෙලුම් කුලුන කළමනාකරණ සමාගම ඇතුළු ආයතන මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී වෙන් වෙන් වශයෙන් විමසා බැලුණි.
ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගනුදෙනු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ‘govPay’ වැඩසටහනේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, මෙම සැප්තැම්බර් මාසයේ සිට සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙන බව සඳහන් කෙරිණි.
රජය විසින් ජනතාවගේ පහසුව වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාතික ඩිජිටල් සුපර් ඇප් (National Super App) ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව තුළ මුදල් භාවිතය අවම කර ඩිජිටල් ගනුදෙනු ප්‍රචලිත කිරීම සඳහා හඳුන්වා දී ඇති “National QR Drive” ව්‍යාපෘතිය, රජයේ ආයතන අතර ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුතුව තොරතුරු හුවමාරු කර ගැනීමට සහ සේවා සැපයුම් ක්‍රියාවලි විධිමත් කිරීමේ ජාතික දත්ත හුවමාරුව (National Data Exchange – NDX), රට තුළ දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ජාලයකට මාරුවීමට ඉඩ සලසන “Number Portability” ව්‍යාපෘතිය සහ රාජ්‍ය ඩිජිටල් ප්‍රසම්පාදන හා සේවා වේදිකාව ඇතුළු වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.
එමෙන්ම රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම යටතේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර මහජන සේවා සැපයීම් කාර්යක්ෂම කිරීමට හඳුන්වා දී තිබෙන PIC-Net (Public Impact Champions Network) වැඩසටහනේ ප්‍රගතිය සහ දත්ත සම්ප්‍රේෂණ ඒකකය (DTU), කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානය, රජයේ සහ මහජන සේවා අංශය සඳහා ඩිජිටල් තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් GovTech Academy පුහුණු සහ අධ්‍යාපනික වැඩසටහනේ ක්‍රියාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කර ඇත.
Govtec ආයතනය ආරම්භ කිරීම, තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ කටයුතුවල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.