කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව සැලසුම් කර තිබේ. කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ ගොඩනැඟිලි සුරක්ෂිත කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමටත් මෙහිදී සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමඟ සෘජුව සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව දැනට සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) මේ වන විටත් සිදු කරමින් පවතින බව සඳහන් විය. ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කිරීමෙන් අනතුරුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව ඒ පිළිබඳව නැවත සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළ මාර්ග සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති එම්.ජී. හේමචන්ද්‍ර සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ.
