රට නැවත බංකොලොත් වීමට කිසිදු හේතුවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක් පවතින බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 18 වැනිදා පැවැති උත්සවයක් අමතමින් ප්‍රකාශ කර තිබුණේ, 2028 වසරේදී විදේශ ණය ගෙවීම සඳහා මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අපේක්ෂා කරන බවයි. මේ වසර අවසානය වන විට සංචිතය ඩොලර් බිලියන 8ක් වනු ඇතැයි අපේක්ෂා කළ ද, තවත් ඩොලර් බිලියන 7ක් සොයාගත යුතු බවත්, එසේ ණය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් රට නැවත බංකොලොත් වීමේ අවදානමක් පවතින බවත් ඔහු එහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ණය වගකීම් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශය මහජනතාව නොමඟ යවනසුලු එකක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ශ්‍රී ලංකාව 2025 වසරේදී පමණක් සිය ණය වගකීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9ක් පමණ ගෙවා ඇති බව සඳහන් කළේය. එමෙන්ම 2026 වසරේදී විදේශ සංචිත වර්ධනය කරගන්නා අතරතුරදීම ණය වෙනුවෙන් ඩොලර් බිලියන 3.7ක් පමණ ගෙවීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

2026 වසර අවසානය වන විට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 8ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සංචිත ගොඩනඟන අතරතුර ණය ආපසු ගෙවීම අඛණ්ඩව කරගෙන යාමේ කිසිදු අසීරුතාවක් රජයට නොමැති බව අවධාරණය කළේය. මීට අමතරව, පසුගිය වසරට සාපේක්ෂව 2026 වසරේදී විදේශ ප්‍රේෂණ, අපනයන, ආයෝජන සහ සංචාරක ඉපැයීම් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් කියා සිටියේය.