අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාව විභාග කිරීම කඩිනම් කරමින් යුක්තිය පසිඳලීම වේගවත් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාවලියට බාධා වන අයුරින් විවිධ ප්‍රහාරයන් දියත් වෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන්ම, මේ වන විට විභාග වෙමින් පවතින පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය පිළිබඳව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හිරු රූපවාහිනී සංවාදයකට එක්වෙමින් බරපතළ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “පාස්කු ප්‍රහාරයේ නඩුව සාධාරණව විභාග වෙනවා කියලා මේ රටේ ජනතාව හිතනවාද? නෑ” යනුවෙනි.

අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමට නීතිමය අවස්ථාව පවතී. එහෙත්, ජනාධිපති නීතිඥවරයෙකු ද වන මෛත්‍රී ගුණරත්න එවැනි නීතිමය පියවරක් ගැනීම වෙනුවට, අදාළ නඩු විභාගය සාධාරණව සිදු නොවන බව හැඟවෙන පරිදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටී.

අධිකරණය කෙරෙහි විවිධ ආකාරයෙන් බලපෑම් සිදු කිරීම මෙවැනි පිරිස් විසින් සංවිධානාත්මකව දියත් කර ඇති ආකාරය මෑත සති කිහිපය තුළ පැහැදිලිවම සනාථ වී තිබේ.