මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය, කාර්යක්ෂමතාව සහ විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
අධිකරණවල පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නංවන අතර, කුරුණෑගල ඇතුළු ප්‍රදේශ ගණනාවක නව මහාධිකරණ 11ක් ඉදිකිරීමට ද නියමිතය. මීට අමතරව නව මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ද දැනටමත් ආරම්භ කර ඇත.
පද්ධතිමය වෙනසක අවශ්‍යතාව අවධාරණය කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, තනි පුද්ගලයන් ඉලක්ක කරගත් වරප්‍රසාද වෙනුවට සමස්ත පද්ධතියම නවීකරණය කිරීම රජයේ අරමුණ බවයි. විශේෂයෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ චෝදනා 23,000ක් සහ සාක්ෂිකරුවන් 3,000ක් සිටින පසුබිමක, අධිකරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන බව හෙතෙම කියා සිටියේය.
විමර්ශන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ප්‍රධාන ආයතන තුනක් බලගැන්වීමට ද රජය පියවර ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ශාඛා කාර්යාල දිස්ත්‍රික් 24 පුරා ව්‍යාප්ත කිරීමටත්, නව විමර්ශන නිලධාරීන් 373 දෙනෙකු බඳවා ගැනීමටත් අනුමැතිය හිමිව තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරී හිඟය පියවීම සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමටත්, නවීන තාක්ෂණික උපකරණ ලබාදීමටත් කටයුතු යොදා ඇත. නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ද නව නීති නිලධාරීන් 50 දෙනෙකු බඳවා ගැනීමට අවසර දී ඇති අතර, ඔවුන්ගේ දීමනා සහ උසස්වීම් ගැටලු නිරාකරණය කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය (E-Court / E-Filing) කිරීම සඳහා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ICTA ආයතනය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.