අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ විමර්ශන ධාරිතාව ඉහළ නැංවීම සඳහා 971 දෙනෙකුගෙන් යුත් ස්වාධීන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමටත්, 2027 ජනවාරි මාසයේ සිට දිස්ත්‍රික්ක 23ක නව කාර්යාල පිහිටුවීමටත් සැලසුම් කර ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේය.
විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, 2004 වසරේදී ශ්‍රී ලංකාව අත්සන් තබන ලද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුකූලව 2023 වසරේදී සම්මත කරගත් නව නීති පද්ධතිය යටතේ කොමිෂන් සභාවේ බලතල සහ ව්‍යුහය පුළුල් කර ඇති බවයි. මෙම නව ප්‍රතිසංස්කරණ හරහා දූෂණ විරෝධී ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ ස්වාධීන මට්ටමකට පත් කිරීම රජයේ අරමුණ වී තිබේ.
මීට පෙර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සේවය කළ රංග දිසානායක, එහිදී ද යුක්තිය පසිඳලීම කඩිනම් කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ ගොඩගැසී තිබූ පැරණි නඩුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කළ ආකාරය මෙහිදී සිහිපත් කළේය. එම අත්දැකීම් පාදක කරගනිමින් අල්ලස් කොමිසමේ ඉදිරි මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.