ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීම සහ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය කාර්යක්ෂමව එක් කරගැනීම අරමුණු කරගත් ‘බලශක්ති පද්ධතිය සවිබලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය’ (PSSREIP) ඊයේ (13) නිල වශයෙන් ආරම්භ විය. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් මෙම ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය ප්‍රතිපාදන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 328.25ක ආයෝජනයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO), නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් (NTNSP) සහ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් (NSO) යන ආයතන මගින් මෙහෙයවනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ හෝමාගම සහ මීගමුව යන ප්‍රදේශවල නව ග්‍රිඩ් උපපොළවල් ඉදි කිරීමට නියමිතය. හෝමාගම, කොට්ටාව, මාලඹේ සහ හොරණ යන ප්‍රදේශවල පවතින සීඝ්‍ර කාර්මික හා වාණිජ විදුලි ඉල්ලුම සපුරාලීමටත්, පන්නිපිටිය සහ කොස්ගම උපපොළවල්වල පවතින අධික භාරය අවම කිරීමටත් හෝමාගම නව උපපොළ මගින් අවකාශ සැලසේ. එසේම මීගමුව උපපොළ හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සහ යෝජිත ‘Aero City’ ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි ධාරිතාව සැපයීමට ද නියමිතය.

අනාගත සැලසුම් යටතේ මීරිගම සහ පෑලියගොඩ ප්‍රදේශවල ද ග්‍රිඩ් උපපොළවල් ඉදිකිරීමට නියමිත අතර හම්බන්තොට සිට මාතර දක්වා කිලෝමීටර 78ක දිගින් යුතු සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් ද ස්ථාපනය කෙරේ. මීට අමතරව කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220 kV භූගත විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඉදිකිරීම් ද මේ වන විට ආරම්භ කර ඇත. මෙම සමස්ත ක්‍රියාවලිය හරහා මෙරට විදුලි පද්ධතියේ විශ්වාසනීයත්වය, ආරක්ෂාව සහ ස්ථාපිත පුනර්ජනනීය බලශක්ති අවශෝෂණ ධාරිතාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.