සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වර්තමාන රජය අනුගමනය කරන වැඩපිළිවෙළ පිළිබඳව පවතින ඉහළ විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් විශාල ආයෝජන අවස්ථා රැගෙන ඒමට කටයුතු කරන බව චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානීන් මෙහිදී අවධාරණය කළහ. ජනාධිපතිවරයාගේ දූරදර්ශී වැඩපිළිවෙළ විදේශ ආයෝජන දිරි ගැන්වීමට ප්‍රධාන සාධකයක් වී ඇති බව පෙන්වා දුන් එම නියෝජිත පිරිස, රජය කෙරෙහි ඇති විශ්වාසය මත ශ්‍රී ලංකාවට තවත් ආයෝජන රැගෙන එන බව යළිත් සහතික කළහ.
මීට අමතරව, මෙරට පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ සැපයුම් (Logistics) සහ ඩිජිටල් තාක්ෂණය යන අංශවල ආයෝජන අවස්ථා පුළුල් කිරීමට සිය සමාගම උනන්දුවෙන් පසුවන බව නියෝජිත පිරිස ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාව එම අංශවල කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කරමින් තවදුරටත් ආයෝජන අවස්ථා ආකර්ෂණය කර ගැනීමට පවතින හැකියාව ද ඔවුහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්හ.