අකාර්යක්ෂම මට්ටමේ පවතින මෙරට පොදු ප්‍රවාහන සේවය නවීකරණය කර, ජනතාවට වඩාත් පහසු, සුරක්ෂිත සහ ලාභදායී ප්‍රවාහන පහසුකම් සැලසීම රජයේ මූලික ඉලක්කය බව අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ප්‍රවාහන ක්‍රමවේදයන් හඳුන්වාදීමේදී පවතින පැරණි ක්‍රමවේදයන් තුළ යම් යම් ගැටලු මතු විය හැකි වුවද, මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම පුද්ගලික අංශයට ද තරගකාරී ලෙස උසස් ප්‍රවාහන සේවාවන් සැපයීමට මෙයින් අවස්ථාව සැලසෙන බවත්, එවැනි බස් රථ ආනයනය කිරීමට පුද්ගලික අංශයට ද ඉඩ පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ‘මෙට්‍රෝ බස්’ (Metro Bus) සේවාව ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කරන මුදල සහ ඉන් ලැබෙන ආදායම් පිළිබඳ මනා විශ්ලේෂණයකින් පසු, පියවරෙන් පියවර දිවයිනේ සෙසු නගර කරා ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී පැහැදිලි කළේය. සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගනිමින් ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් දායාද කිරීම රජයේ අවසන් අරමුණ බව ද හෙතෙම කියා සිටියේය.