පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වසර පහකට ආසන්න කාලයක් තිස්සේ දින 245ක් පුරා දීර්ඝ ලෙස විභාග වූ මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම ඊයේ (11) රාත්‍රියේදී අවසන් විය. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු මඬුල්ලෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වේ.
පැමිණිල්ලේ නඩු විභාගය නිම වීමෙන් පසු ඉදිරියේදී විත්තියේ සාක්ෂි විමසීම සිදු වීමට නියමිතය. අනතුරුව දෙපාර්ශ්වයේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව සඳහා දින නියම කෙරේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත නඩු 31ක් පවරා ඇති අතර, ඉන් නඩු 5ක් ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ. ඉන් නඩු 3ක තීන්දු මේ වන විටත් ප්‍රකාශයට පත් කර වැරදිකරුවන්ට දඬුවම් නියම කර ඇත. බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 854කට වරදකරුවන් කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔවුන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබේ. මීට අමතරව, මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා 7කට සහ දේව ප්‍රතිමාවකට හානි කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට දඬුවම් නියම වී ඇත.
තවත් නඩු තුනක තීන්දු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පුත්තලම, ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ ත්‍රස්ත පුහුණු කඳවුරක් සහ පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව සහ කොළඹ විභාග වන මෙම මහ නඩුව ඊට ඇතුළත්ය. නඩු විභාග කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවති නඩුව ද මීට මාස දෙකකට පමණ පෙර සිට කොළඹ මහාධිකරණය වෙත මාරු කර තිබේ.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අලුත්කඩේ පැරණි මහේස්ත්‍රාත් උසාවි සංකීර්ණයේ ස්ථාපිත නව ගොඩනැඟිල්ල වෙත ගෙන යාමෙන් පසු මෙම පාස්කු මහ නඩුව දිනපතා විභාගයට ගැනේ. පසුගිය කාලය පුරා දිනපතා රාත්‍රී 10:00 දක්වා නඩු විභාගය පැවැත්වුණු අතර, අධිකරණ නිවාඩු වාරය යෙදී ඇති මෙම සතියේ ද නඩු විභාගය අඛණ්ඩව සිදු කෙරේ.
සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් ලබා දුන් පාපොච්චාරණ කිහිපයක් ස්වේච්ඡාවෙන් ලබා දී ඇති බව සත්‍යතා පරීක්ෂණයේදී සනාථ වී තිබේ. එසේම, සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායමේ සාමාජිකයකු රජයේ සාක්ෂිකරුවකු වෙමින් කරුණු රැසක් අනාවරණය කර ඇත. මුල් කාලයේ මසකට වරක් සහ පසුව සතියට දින 2-3ක් බැගින් විභාග වූ මෙම නඩුව, පසුගිය වසරේ සිට දිනපතා විභාග කෙරිණි. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් ගත වීමට නියමිතව තිබූ මෙම නඩුව, ගනු ලැබූ කාර්යක්ෂම පියවර හේතුවෙන් වසර 5කින් පැමිණිල්ලේ නඩුව අවසන් කර තීරණාත්මක අවධියකට පැමිණ තිබේ.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥවරුන් වන සජිත්ත බණ්ඩාර, ශක්ති ජාගොඩආරච්චි සහ අකිලා දල්පදාදු යන නීතිඥ කණ්ඩායම කරුණු මෙහෙයවනු ලබයි.