වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවීන්ට සාධාරණ මිලකට වී අලෙවි කිරීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ එකඟතාවන්ට එළඹුණි.
මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ, වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ණය මුදල් ලබාදීමේ නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. මෙම ක්‍රමය යටතේ ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක අවම මිලක් ලබා දීම අනිවාර්ය වන අතර, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4,000කට සීමා වේ.
මෙම ක්‍රියාවලියේදී මිලදී ගන්නා වී තොග සහ ගොවීන් පිළිබඳ නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය වන අතර, එම දත්ත නිරන්තර පරීක්ෂාවට ලක් කෙරේ. දැනට ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහා මෙම සහනය හිමිවන අතර, සහල් අලෙවි කිරීමෙන් පසු අදාළ ණය මුදල් රජය වෙත නැවත ගෙවිය යුතුය. මෙවර ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ව්‍යාපාරිකයන්ට ඉදිරි කන්නවලදී ද අඛණ්ඩව සහන ලබා දීමට රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ.
රජය හඳුන්වා දුන් මෙම සෘජු ණය යෝජනා ක්‍රමය හේතුවෙන්, බැංකු සමඟ ගනුදෙනු කිරීමේදී පැවති දුෂ්කරතා මඟහැරී ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටි බොහෝ පිරිසක් නැවත ව්‍යාපාරයට අවතීර්ණ වනු ඇති බවට මෝල් හිමියන් විශ්වාසය පළ කළහ. මෙම අවස්ථාවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

