මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත මෙම වසරේදී සහ 2027 වසරේදී රුපියල් මිලියන 1,067.5ක හිමිකම් ප්‍රාග්ධනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙම වසර (2026) සඳහා රුපියල් මිලියන 800ක් සහ 2027 වසරේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 267.5ක් වශයෙන් එම ප්‍රාග්ධනය වෙන් කෙරේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස 2025 ඔක්තෝබර් 03 වන දින සංස්ථාගත කරන ලද මෙම සමාගම, මේ වන විටත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පත්ල පහත් (Low Floor) බස් රථ 10ක් යොදා ගනිමින් කොළඹ නාගරික ප්‍රවාහන නියමු මෙහෙයුම් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. එම සේවාවේ වාණිජමය ශක්‍යතාව සහ මහජන පිළිගැනීම තහවුරු වී ඇති බැවින් එළඹෙන සැප්තැම්බර් මාසයේදී තවත් එවැනි බස් රථ 112ක් සේවයට එක් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා අංගසම්පූර්ණ මධ්‍යම වැඩපොළක් ඉදිකිරීමටත්, තලංගම, කඩවත, රත්මලාන සහ හෝමාගම යන ප්‍රදේශවල නවීන බස් ඩිපෝ ස්ථාපිත කිරීමටත් යෝජිතය. මීට අමතරව අභ්‍යන්තර මාර්ග සහ බස් නැවතුම් අංගන සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් කඩිනම් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.