ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ඊයේ (29) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර, එම පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් විය.
ඊයේ (29) පස්වරුවේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. කිරිවෙහෙර අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ද එක්විය. මීට අමතරව කිරිවෙහෙර පරිශ්‍රයේ නව විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය.
අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ, රටේ සියලු ජන කොටස් එකම पुදබිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව මෙරට ජාතික අනන්‍යතාව මෙන්ම ජාතික සමගිය ද පිළිබිඹු කරන්නක් බවයි. ඕනෑම රටක සංවර්ධනයේදී එම සමාජය ගොඩනැඟුණු ඓතිහාසික සංස්කෘතික පදනම අතිශය වැදගත් බවත්, විද්‍යාව හා තාක්ෂණය සමඟ ලෝකය මොනතරම් පරිවර්තනයන්ට ලක් වුව ද අපේ රට ඉදිරියට යා යුත්තේ දේශීය ඓතිහාසික පවුරු පදනම් ආරක්ෂා කරගනිමින් බවත් ඔහු ප්‍රකාශ කළේය.
“මහපොළව සමඟ පවතින ඓන්ද්‍රීය සබඳතාව බිඳගතහොත් අප පාවෙන සමාජයක් බවට පත් වන අතර, එය රටක අනන්‍යතාව සහ සමාජ ගරුත්වය විනාශ කිරීමට හේතු වෙනවා. වසර 2187ක් පුරා අවිච්චින්නව පැවැතෙන මෙම මහා කලා මංගල්‍යය අපේ ගැඹුරු සංස්කෘතික පදනම මනාව කියාපානවා,” යැයි ජනාධිපතිවරයා පැවසීය. නව පරපුර සංස්කෘතික උරුමයන්ගෙන් ඈත් වන බවට මතයක් තිබුණ ද, තරුණ තරුණියන් දහස් ගණනක් මෙම පෙරහැරේ ගමන් කරමින් එම උරුමයන් ඉදිරියට ගෙන යාමේ අභියෝගය භාරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.
උතුරේ දෙමළ ජනතාව සති ගණනාවක් පුරා පාද යාත්‍රාවෙන් කැලෑබද උවදුරු මධ්‍යයේ දේවාලය කරා පැමිණීම, මුස්ලිම් ජනතාව තමන්ටම අනන්‍ය වූ වතාවත්වල යෙදීම සහ ලක්ෂ සංඛ්‍යාත සිංහල ජනතාව එක්වීම තුළින් සහජීවනය සහ සාමකාමීත්වය මනාව පෙන්නුම් කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම කටයුතු සාර්ථක කර ගැනීමට මඟපෙන්වූ පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට, නව බස්නායක නිලමේවරයාට ඇතුළු සංවිධායක මණ්ඩලයට ඔහු සිය කෘතඥතාව පළ කළේය. පෙරහැර සමාප්ති ප්‍රකාශන සන්නස් පත්‍රය කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ඇතුළු මහජන නියෝජිතයන් ද, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංඛ ඇතුළු නිලධාරීන් මෙන්ම විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.