2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේ විමල් වීරවංශ අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 21 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.

2016 පෙබරවාරි 6 වැනිදා එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සහ තුම්මුල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් සංවිධානය කර මහජනතාවට පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස හිටපු මන්ත්‍රීවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය නම් කරනු ලැබ සිටිති.