ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ සහ කාඩ්පත් රහිත පහසු ගෙවීම් ක්‍රමවේදයන්හි නව පෙරළියක් සනිටුහන් කරමින් ලංකා බැංකුව (BOC) සිය නවතම ‘BOC Flex Tap & Pay’ සේවාව පසුගිය 09 වැනිදා නිල වශයෙන් දියත් කළේය. කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේදී පැවැති මෙම දියත් කිරීමේ උත්සවය කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මුදල් නෝට්ටු භාවිතය වෙනුවට ආරක්ෂිත ඩිජිටල් ගෙවීම් රටාවක් රට තුළ ප්‍රචලිත කිරීමේ ජාතික අරමුණ පෙරදැරි කරගෙන, මාස්ටර්කාඩ් (Mastercard) ආයතනය සමඟ එක්ව ලංකා බැංකුව මෙම නවතම තාක්ෂණය මෙරටට හඳුන්වා දී ඇත.

මෙම නව ‘Tap & Pay’ පහසුකම හරහා පාරිභෝගිකයන්ට සාම්ප්‍රදායික කාඩ්පත් භාවිතයෙන් තොරව, තමන්ගේ ජංගම දුරකථනය වෙළඳසැල්වල ඇති POS යන්ත්‍රයක ස්පර්ශ කිරීමෙන් (Tap කිරීමෙන්) පමණක් ඉතා වේගවත්ව සහ ආරක්ෂිතව එදිනෙදා බිල්පත් ගෙවීමට අවස්ථාව උදාවේ. ජංගම දුරකථනයෙන්ම මිනිත්තු කිහිපයකින් සකස් කරගත හැකි අතථ්‍ය කාඩ්පත් (Virtual Cards) කළමනාකරණය සහ ඕනෑම වේලාවක කාඩ්පතේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමේ (Suspend) විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන් ද මෙම පද්ධතියට ඇතුළත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න ප්‍රකාශ කළේ, රාජ්‍ය බැංකු පද්ධතිය තුළ සිදු කෙරෙන මෙවැනි නවෝත්පාදනයන් සමස්ත ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගතියට බෙහෙවින් ඉවහල් වන බවයි. ජාතික ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) සහ ගෙවීම් පද්ධතිවල අන්තර්-ක්‍රියාකාරිත්වය (Interoperability) ශක්තිමත් කරමින්, මෙම ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය ග්‍රාමීය ව්‍යවසායකයන් සහ කුඩා පරිමාණ ව්‍යවසායන් දක්වා සාර්ථකව ව්‍යාප්ත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය උපරිම සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහි සුවිශේෂී සහ සංකේතාත්මක අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන විසින් ‘BOC Flex Tap & Pay’ තාක්ෂණය භාවිතයෙන් දිවයිනේ ප්‍රථම ජංගම දුරකථන ස්පර්ශක ගෙවීම් ගනුදෙනුව (First Tap) සාර්ථකව සිදු කරනු ලැබීය. එමඟින් ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික මූල්‍ය ක්‍රියාවලිය වඩාත් සරල සහ වේගවත් කරවන නව යුගයක ආරම්භය නිල වශයෙන් සනිටුහන් විය.

මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, සාමාන්්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, වැඩබලන ප්‍රධාන ඩිජිටල් හා නවෝත්පාදන නිලධාරී සමන් කේ. වික්‍රමසිංහ මෙන්ම මාස්ටර්කාඩ් ආයතනයේ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන කලාපීය කළමනාකරු සඳුන් හපුගොඩ සහ ශ්‍රී ලංකා ප්‍රධානී මහේෂා අමරසූරිය ද සහභාගී වූහ. මීට අමතරව, වෘත්තීය සමිති නියෝජිතයින්, ලංකා බැංකුවේ පාරිභෝගිකයින්, සහයෝගිතා හවුල්කරුවන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද මෙම දියත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.