මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් සෙවීම සහ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම වෙනුවෙන් එහි මෙට්‍රෝ බස් රථ සේවාවක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියත් කෙරෙන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

ඒ යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දැනට සිදු කෙරෙන ව්‍යාප්ති කටයුතු ගලගෙදර දක්වා දීර්ඝ කෙරෙන අතර, එම මාර්ගය ඉදිරියේදී ගන්නෝරුව දක්වා සම්බන්ධ කිරීමට ද සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ගලගෙදර සිට කටුගස්තොට දක්වා ඇති පාලම පුළුල් කිරීමටත්, පේරාදෙණිය පාලම අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමටත් මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව, පැරණි පේරාදෙණිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට අපේක්ෂා කරන බවත්, ඉන් අනතුරුව එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වන බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් කියා සිටියේය.