ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විශ්වාසදායක සහ ගුණාත්මක පොලිස් සේවාවක් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, සියලු පහසුකම්වලින් සමන්විත කෝපායි අභිනව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) විවෘත කෙරිණි. රුපියල් කෝටි 4කට ආසන්න ප්‍රතිපාදන වැය කරමින් ඉදිකළ මෙම නවීන ගොඩනැගිල්ල උතුරු පළාතේ නීතිය හා සාමය තහවුරු කිරීමේ ක්‍රියාවලියට නව ජවයක් එක් කිරීමට නියමිතය.
මෙහිදී සමාරම්භක උත්සවය ඇමතූ අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කළේ, කිසිදු ජාති හෝ ආගම් භේදයකින් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවයි. වෘත්තීය මට්ටමේ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් සම්පූර්ණ කිරීම හරහා පොලිස් නිලධාරීන්ගේ මෙන්ම ජනතාවගේ ද පහසුව සැලසෙන බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම රටේ අනාගත පරපුර බිලිගන්නා මත්ද්‍රව්‍ය ව්‍යසනය සහමුලින්ම තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ සහ මහජනතාව ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අත්‍යවශ්‍යතාව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම උත්සවයේ සුවිශේෂී සිදුවීමක් වූයේ, පැරණි පොලිස් ගොඩනැගිල්ල පවත්වාගෙන ගිය භූමියේ නීත්‍යානුකූල අයිතිකරුවන් හත් දෙනෙකු වෙත එහි භුක්තිය යළි පවරාදීම සංකේතවත් කරමින් නිවාස යතුරු ප්‍රදානය කිරීමයි. මෙය උතුරු පළාතේ ජනතාවගේ පාරම්පරික අයිතිවාසිකම් සහ සාධාරණත්වය ඉටු කිරීම සම්බන්ධයෙන් රජය දක්වන කැපවීම විදහා දක්වන සාධනීය පියවරක් ලෙස සැලකේ.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලන්කුමරන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.