පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ වී ඇති විමර්ශන මාලාවත් සමඟ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් විශ්‍රාමික සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීම වත්මන් දේශපාලන පිටියේ වඩාත්ම සංවාදශීලී සිදුවීමක් බවට පත්ව ඇත. මෙම පසුබිම තුළ, හිටපු අමාත්‍ය සරත් වීරසේකර විසින් සුරේෂ් සලෙයි විමර්ශන නිලධාරීන්ට බුද්ධි තොරතුරු හෝ පරිගණක දත්ත ලබා නොදීම සාධාරණීකරණය කරමින් ඉදිරිපත් කරන ලද තර්කය, රාජ්‍ය වගකීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතළ නෛතික සහ ව්‍යවස්ථාපිත ප්‍රශ්න කිරීම් මාලාවකට මඟ පාදයි.
සරත් වීරසේකරගේ ප්‍රකාශය සහ එහි ඇති නෛතික පරස්පරතාව
සරත් වීරසේකර ප්‍රකාශ කරන්නේ, සුරේෂ් සලෙයි සිය රඳවා තැබීම් මධ්‍යයේ වුවද, ජාතික ආරක්ෂාව වෙනුවෙන් අනවශ්‍ය පාර්ශ්වයන්ට රාජ්‍ය බුද්ධි තොරතුරු අනාවරණය නොකිරීමට ප්‍රතිපත්තිමය ස්ථාවරයක පසුවන බවයි. මෙම ස්ථාවරය වෘත්තීයමය දේශපාලන සහ නෛතික විශ්ලේෂණයකදී බරපතළ ප්‍රශ්න කිරීම්වලට භාජනය වේ.
රටක අපරාධ විමර්ශන සිදු කිරීමට නීත්‍යානුකූලව බලය පවරා ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩී යි. එවැනි නිල රාජ්‍ය ආයතනයක් අනවශ්‍ය පාර්ශ්වයක් ලෙස වර්ගීකරණය කිරීමට කිසිදු විශ්‍රාමික හෝ ක්‍රියාකාරී රාජ්‍ය නිලධාරියෙකුට නීතිමය ප්‍රතිපාදන නොමැත. රාජ්‍යයේ නිල විමර්ශන ව්‍යුහය ප්‍රතික්ෂේප කිරීම යනු සමස්ත ස්වෛරී රාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියම අභියෝගයට ලක් කිරීමක් ලෙස හඳුනාගත හැකිය.
බුද්ධි තොරතුරු පෞද්ගලික හෝ කණ්ඩායම් දේපළක් නොවේ
රාජ්‍ය බුද්ධි තොරතුරු යනු මහජන බදු මුදලින් නඩත්තු වන ආයතන මඟින්, පොදු රාජ්‍යයේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රැස් කරනු ලබන දත්ත සමුදායකි. එය කිසිදු තනි පුද්ගලයෙකුට හෝ නිලධාරියෙකුට අයත් පෞද්ගලික දේපළක් නොවේ. එබැවින්, ජාතික ආරක්ෂාව නමැති ලේබලය භාවිත කරමින් නිල විමර්ශකයන්ට මුරපද හෝ දත්ත ගොනු ලබා නොදීම ජාතික ආරක්ෂාව රැකීමක් නොව, නීතිය ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැර හැරීමකි.
රාජපක්ෂවරුන් සහ දේශපාලන පාර්ශ්වීය ලැදියාව පිළිබඳ සැකය
මෙහිදී වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ, බුද්ධි තොරතුරු පාවා නොදීම යන වචනය පිටුපස සැඟවී ඇති සැබෑ දේශපාලන ලැදියාවයි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්දුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඉදිරිපත් කළ කරුණුවලට අනුව, මෙම බුද්ධි තොරතුරු රඳවා ගැනීම සහ විමර්ශන නොමඟ යැවීම සිදු කර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවක් ඉටු කිරීම උදෙසාය.
විමර්ශන වාර්තාවලට අනුව, සුරේෂ් සලෙයිගේ ක්‍රියාකලාපය රාජ්‍යයේ ආරක්ෂාවට වඩා වෙනත් පෞද්ගලික දේශපාලන පාර්ශ්වයක, එනම් රාජපක්ෂවරුන්ගේ හෙවත් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඇතුළු එම පවුලේ දේශපාලන න්‍යායපත්‍ර ආරක්ෂා කිරීම හා බද්ධ වී තිබූ බවට සැක කෙරේ. රාජ්‍ය බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යාම වෙනුවෙන් ක්‍රියා කළ බවට එල්ල වන චෝදනා හමුවේ, බුද්ධි තොරතුරු සැඟවීම යනු ජාතික ආරක්ෂාව රැකීමක් නොව, අදාළ දේශපාලන පාර්ශ්වය නීතිමය වගවීමෙන් මුදාගැනීම සඳහා සිදු කරනු ලබන මැදිහත්වීමක් බව නිරීක්ෂණය වේ.
රාජ්‍ය ආරක්ෂක රහස් නමැති ආවරණය, රාජපක්ෂවරුන් ඇතුළු දේශපාලන ප්‍රභූන්ගේ අපරාධ වසන් කිරීම සඳහා පලිහක් ලෙස භාවිත කරන්නේ නම්, එය සමස්ත රාජ්‍ය බුද්ධි යාන්ත්‍රණයම දේශපාලනීකරණය වී ඇති බවට ලැබෙන පැහැදිලි සාක්ෂියකි.
සැබෑ ජාතික ආරක්ෂාව නීතියට ඉහළින් පැවතිය නොහැක. නීතියේ ආධිපත්‍යය බිඳවැටුණු තැනක ජාතික ආරක්ෂාවක් පැවතිය නොහැකි අතර, බුද්ධි තොරතුරු සැඟවීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා කිරීම නෛතික රාමුව තුළ බරපතළ වරදක් ලෙස සැලකිය යුතුය. දේශපාලන අනුග්‍රාහකයන් වන රාජපක්ෂවරුන් හෝ වෙනත් පෞද්ගලික කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය තොරතුරු අවභාවිත කිරීමට ඉඩ නොතබා, නීතිය හැමටම සමානව ක්‍රියාත්මක කිරීම ස්වෛරී රාජ්‍යයක වගකීමයි.
(සටහන | Sachith Liyanage )