පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ විධිමත් පරිශ්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Clean Manning” පිරිසිදු කිරීමේ වැඩසටහන ඊයේ (14) පෙරවරුවේ ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සමාරම්භ විය.

මෙම සනීපාරක්ෂක මෙහෙයුම පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි ඒකාබද්ධ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහ ඓතිහාසික එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානය වන පෑලියගොඩ මැනිං වෙළඳපොළ වෙත දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අතිවිශාල වෙළෙඳුන් සහ පාරිභෝගික පිරිසක් පැමිණෙති. එම වෙළඳපොළ පරිශ්‍රය තුළ දීර්ඝ කාලයක සිට පවතින පාරිසරික සහ සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් වෙළෙඳ ප්‍රජාව මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවන්ට මුහුණ දී සිටි අතර, එම තත්ත්වය සමනය කිරීම මෙම වැඩසටහනේ මූලික අපේක්ෂාව වී තිබේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, පෑලියගොඩ පොලිස් ස්ථානාධිපති, මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමයේ සභාපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වෙළෙඳ ප්‍රජාව විශාල පිරිසක් සහභාගී වූහ. වෙළඳපොළේ දෛනික කටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙවැනි පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.