ලබන වසර සඳහා රුපියල් බිලියන 2000ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කරයි. මෙම වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350කට ආසන්න මුදලක් වෙන් කර තිබූ අතර, ලබන වසරේදී එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ‘iRoad’ (Integrated Road Investment Program) දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග පද්ධතිය නවීකරණය කරමින් ජනතාවගේ ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.
මෙහිදී බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස, රජය විසින් ජනතාවගෙන් අය කරගනු ලබන බදු මුදල්වල පූර්ණ වගකීම රජය භාර ගන්නා බව අවධාරණය කළේය. බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට පියවර ගන්නා බවත්, එම මුදල් කිසිදු දූෂණයකින් තොරව සැලසුම් සහගතව ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය සඳහා පමණක්ම යොදවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.