රාජපක්ෂ පවුලේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිය වෘත්තීය ගරුත්වය පවා පාවා දෙමින් කටයුතු කරන බවට චෝදනා ලත් විශ්වවිද්‍යාල ආචාර්ය මහින්ද පතිරණ, අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පතුරුවමින් අධිකරණයට දැඩි අපහාසයක් සිදු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් පසන්න අමරසේන විසින් පසුගිය 10 වැනිදා විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලදී. මෙම නීතිමය ක්‍රියාවලිය ඉලක්ක කරගනිමින් මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වෛද්‍ය මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණට (JVP) සම්බන්ධ පිරිසක් බවයි.

“සලේ පරීක්ෂා කරන්න පත් කරලා තියෙන්නේ පට්ට JVP සෙට් එකක්. ආණ්ඩුවට ස්වාධීන වෛද්‍ය මණ්ඩලයකට දාලා මේ ගැන අදහස් ගන්න බැහැ,” යනුවෙන් ඔහු ජනතාව නොමඟ යැවීමට උත්සාහ කර ඇත. එපමණක් නොව, මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයේ නාමයන් නිර්දේශ නොකළ බවත්, එම නම් ලබා දුන්නේ ආණ්ඩුව විසින් බවත් පවසමින් ඔහු අධිකරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විකෘති කර තිබේ.

නමුත් සැබෑ තත්ත්වය වන්නේ වෝහාරික අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තුසිත මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විශේෂඥ මණ්ඩලය නම් කරනු ලැබුවේ විවෘත අධිකරණයේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින්ම බවයි. මෙම මණ්ඩලයට වෝහාරික අධිකරණ වෛද්‍ය විශේෂඥ චිත්තාහරී අබේනායක, විශේෂඥ වෛද්‍ය දසන්ති අක්මීමන, වෛද්‍ය විද්‍යා ආචාර්ය දුල්ෂිකා අමරසිංහ සහ වෛද්‍ය විද්‍යා ආචාර්ය වජිර ධර්මරත්න යන ප්‍රවීණයන් ඇතුළත් වේ.

මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකළ මෙම පත් කිරීම් ක්‍රියාවලිය සඳහා සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ද සිය එකඟතාව පළ කර තිබුණි. එසේ තිබියදී, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු මෙලෙස සිතාමතාම අධිකරණ නියෝග විකෘති කරමින් මඩ ප්‍රහාර දියත් කිරීම, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එල්ල කරන බරපතළ අභියෝගයකි. දේශපාලන බලවතුන් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන වෛද්‍යවරුන්ට සහ විනිසුරුවරුන්ට අපහාස කරන මහින්ද පතිරණගේ මෙම ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව විචාරකයෝ පෙන්වා දෙති.