සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මූල්‍ය අපරාධකරුවන් එක්ව අවස්ථා 27,000කදී සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැසක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශන මාලාවකින් මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙම අපරාධකරුවන් ඉතා සූක්ෂ්ම ලෙස එක් පුද්ගලයෙකුම සමාගමක අධ්‍යක්ෂ, කොටස්කරු සහ කළමනාකරු ලෙස පෙනී සිටිමින් විවිධ නම්වලින් ව්‍යාජ සමාගම් ලියාපදිංචි කර ඇත. පසුව එම සමාගම් කෙටි කාලයක් පමණක් පවත්වාගෙන යමින් මෙම ජාවාරම් මෙහෙයවා ඇති බව හෙළි විය.
මෙහිදී වඩාත්ම බරපතළ කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු උපයෝගී කරගනිමින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් (Telegraphic Transfer – TT) ක්‍රමය හරහා විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමයි. මෙමගින් ඩොලර් මිලියන සිය ගණනක මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත ගලා ගොස් තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පුද්ගලයින් 55 දෙනෙකු එක්ව සමාගම් 105ක් ලියාපදිංචි කර ඇති බවත්, වාණිජ බැංකු 13ක ගිණුම් 227ක් පවත්වාගෙන යමින් ඉතා කෙටි කාලයක් තුළ අවස්ථා 26,108කදී මෙම මූල්‍ය අපරාධ සිදුකර ඇති බවත්ය. මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිදුකරන ලද මෙම සංවිධානාත්මක ජාවාරමේ සුලමුල දැන් විමර්ශන අංශ සතුව පවතින බව ද අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් අවධාරණය කළේය.