පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අනුදැනුම සහ අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

පෙරේදා (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, සුරේෂ් සලේ යනු වෘත්තීය හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂගේ ‘වහලෙකු’ ලෙස සියලු නීති විරෝධී කටයුතුවලට සහාය වූ පුද්ගලයෙකු බවයි. ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුමකින් තොරව සුරේෂ් සලේ කිසිදු තීරණයක් නොගත් බවත්, ඔහු කටයුතු කළේ රාජපක්ෂ පවුලේ සමීපතම පුරෝහිතයෙකු ලෙස බවත් ෆොන්සේකා වැඩිදුරටත් චෝදනා කළේය.

තමන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සුරේෂ් සලේගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇති වූ සැකය මත ඔහුව බුද්ධි අංශ තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගත් බව ද ෆොන්සේකා මෙහිදී අනාවරණය කළේය. එසේ වුවද, පසුව ගෝඨාභය රාජපක්ෂ සිය බලය භාවිතා කරමින් ඔහුව ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කරගෙන විශේෂ වගකීම් පැවරූ බවත්, එමඟින් මෙරට ආරක්ෂක පද්ධතිය අවභාවිත කිරීමට මඟ පෑදුණු බවත් ඔහු පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයට අදාළව දැනට හෙළිදරව් වෙමින් පවතින තොරතුරු හමුවේ, මෙම දේශපාලන සහ බුද්ධි අංශ සබඳතාව පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුවිය යුතු බව ද හිටපු හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

(Dinamina)