ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීම උදෙසා ක්‍රියාවට නැංවෙන “ජෙවලින් ෆියෙස්ටා” ජාතික දක්ෂතා සහ නිපුණතා හඳුනා ගැනීමේ වැඩසටහනේ ප්‍රථම අදියර එළඹෙන ජූලි 31 වනදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිතය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී, මෙම වැඩසටහනේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන ජාත්‍යන්තර මට්ටමේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ඉදිරි පුහුණුවීම් සහ ක්‍රීඩා සැලසුම් ශක්තිමත් කිරීම උදෙසා අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන 2.5 ක මූල්‍ය ආධාර චෙක්පතක් අමාත්‍යවරයා අතින් පිරිනමනු ලැබීය.
මෙම මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන්, ක්‍රීඩා සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ හිටපු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු මෙන්ම වැඩසටහන් සංවිධායකවරයෙකු වන හර්ෂණ කින්ස්ලි ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පාසල්, ක්‍රීඩා සංගම්, ක්‍රීඩා පාසල් මෙන්ම විවෘත අංශ ඔස්සේ මධ්‍යම පළාතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් විද්‍යාත්මක පුහුණු ක්‍රමවේද ඔස්සේ ජාතික සංචිතය දක්වා යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ අනුව, වයස අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ විවෘත අංශ යටතේ ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම ආවරණය වන පරිදි ප්‍රධාන කාණ්ඩ අටක් ඔස්සේ මෙහිදී තරගාවලි පැවැත්වේ.
තරගකරුවන් තේරීමේ ක්‍රමවේදයේදී ශාරීරික හැකියාවන් ඇගයීම මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහ හෙල්ල විසි කිරීමේ විශේෂිත තාක්ෂණික පරීක්ෂණ මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු බැගින් සෑම කාණ්ඩයකින්ම අට දෙනෙකු බැගින් තෝරා ගැනීමට නියමිතය. ඒ ඔස්සේ සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම පළාත් හෙල්ල විසි කිරීමේ සංචිතය ස්ථාපිත කෙරෙනු ඇත.
පළාත් මට්ටමින් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ව්‍යාප්ත කරමින්, සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ටයින් හඳුනාගෙන, ජාතික මට්ටමේ පුහුණු කඳවුරු සහ විශේෂිත පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා දිය හැකි අනාගත තාරකාවන් බිහිකිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.