වැඩ කරන ජනතාවට ඕනෑම අවස්ථාවක සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය පද්ධතිය තුළ පවතින එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ආචාර්ය මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් සමඟ අද (05) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙතෙක් කාලයක් කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානය තුළ පැවැති ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට විසඳුමක් ලෙස නව ඉඩමක් ලබාදීමටත්, දේශන ශාලා සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මෙහිදී තීරණය විය. අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගනිමින් ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ අද දින නිල වශයෙන් ආරම්භ කළ බවයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඇය කියා සිටියේ 2027 වසර වන විට 6 වන ශ්‍රේණිය සහ 2 වන ශ්‍රේණිය සඳහා නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු කරමින් පවතින බවයි. මේ වසරේ ආරම්භ කළ පළමු වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ පෙළපොත් මේ වන විට නිකුත් කර ඇති අතර ලබන වසරේ ගුරු පුහුණු කටයුතු ද සැලසුම් කර ඇත.

ගුරු හා විදුහල්පති සේවයේ පවතින ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සුබදායී පණිවිඩයක් ලබා දුන්නාය. ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසම සමඟ කළ සාකච්ඡාවලින් පසු ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාගවලට අදාළ අනුමැතිය හිමි වී ඇති අතර, වසර ගණනාවක් තිස්සේ පැවැති විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එම කටයුතු ඉදිරියේදී කඩිනමින් ක්‍රියාත්මක වනු ඇත.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල මධ්‍යස්ථාන අධ්‍යක්ෂ අනුෂ්ක බණ්ඩාර ඇතුළු ආචාර්යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.