සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පසුගියදා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා නාහිමිපාණන් වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වෙමින් උන්වහන්සේගේ සුවදුක් විමසා බැලීය. මෙහිදී මෙරට වත්මන් ආර්ථික හා සමාජීය තත්ත්වයන් පිළිබඳව මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද අමාත්‍යවරයා නාහිමියන්ව දැනුවත් කළේය.

මෙම හමුවේදී අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ උදෙසා සිය අනුශාසනාවන් පිරිනැමූහ. දේශයේ උන්නතිය සහ මහජන සුබසිද්ධිය වෙනුවෙන් මහා සංඝරත්නය දක්වන මඟපෙන්වීම් රජයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී කෘතවේදීව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.එන්.ඩී. හේරත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.